කාබනික හා පාරිසරික වගාව වෙනුවෙන් LOAM වෙතින් පුහුණු මධ්‍යස්ථානයක්

අගනුවර ආශ්‍රිතව ජීවත් වන ජනතාව හා ආයතන සඳහා කාබනික වගාව හා පාරිසරික වගාව පිළිබඳ පුහුණු කිරීමට සහ ප්‍රායෝගිකව ආදර්ශනය කර පෙන්වීමට සුදුසු පුහුණු මධ්‍යස්ථානයක අඩුවක් දීර්ඝ කාලයක් පැවතුණි. මෙම අඩුව සම්පූර්ණ කිරීම සඳහා සුදුසු පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට LOAM ආයතනයට හැකියාව ලැබුණී. කොළඹ නගරයට ආසන්නව මත්තේගොඩ පිහිටි අක්කර 04ක භූමියක පැතිරී ඇති මෙම වගා ආදර්ශක භූමිය දැනට තේ, ගම්මිරිස්, හා පළතුරු යන වගාවන් සිදුකර ඇත. තවද පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා මෙම මධ්‍යස්ථානය පුහුණුවන්නන් 50කට අධික ප්‍රමාණයකට ඉඩ පහසුකම් සහිත දේශන ශාලාවක් ද ඊට අමතරව මුළුතැන්ගෙයි පහසුකම් ද යුක්තය.

මෙම භූමි භාගයේ පිහිටි වගා ආදර්ශනය තුළින් කාබනික වගාව, පාරිසරික වගාව (Agroecology), සදෘශ්‍ය වන වගාව (Analog Forestry), ප්‍රත්‍යස්ථ කෘෂිකර්මය (Regenerative Agriculture) සහ පරිසර හිතකාමී කෘෂි ක්‍රමෝපායන් පිළිබඳ පුහුණු කිරීම් සඳහා භාවිතා කිරීම LOAM ආයතනයේ අපේක්ෂාවයි. කොළඹ මධ්‍යයේ සිට විනාඩි 45ක පමණ ළඟාවිය හැකි මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක් තිබීම LOAM ආයතනයට පමණක් නොව රටේ සමස්ත පුරවැසියන්ට ම පරිසර හිතකාමී වගාවකට යොමු වීම සඳහා විශාල රුකුලක් වන බව LOAM ආයතනයේ විශ්වාසයයි.

මෙම පුහුණු මධ්‍යස්ථානයේ වැඩකටයුතු ආරම්භ කිරීම පසුගිය ඔක්තෝබර් මස 05 වන දින Regenerative International ආයතනයේ සභාපති Andre Lue හා LOAM ආයතනයේ සභාපති තිලක් කාරියවසම් මහතා අතින් සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *